Novels Series |
Dhaiwaye saradam
දෛවයේ සරදම්
ලොව වසන කිසිවෙකුගේ මාවත නිසංසල වූ පැහැදිලි ,මල් පිපුණු සුමට සුමුදු මාවතක් නොවන්නේ ය.එහෙත් ජීවන ගමන් මඟ කෙතරම් දුෂ්කර වුවද කටුක වුවද ආපසු හැරෙන්නට නොසිතා එම බාධා පවුරු සිඳ බිඳ ඉදිරියට යා යුතු ය.මඩවගුරු,වළවල් සහිත දුෂ්කර ගිරි දුර්ග පසු කළ පසු බලාපොරොත්තු වන පරිදි සුමට සුමුදු මාවත් හමුවනු ඇත.
ආබාධිත ජනයා හට තම ජීවන මං පෙත එළි පෙහෙළි කර ගැනීමට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අසීමිත වූ වෙහෙසක් දරන්නට සිදුවේ.ඔවුන්ගේ ජීවන මං මාවත් වල ස්වභාවයෙන්ම පෙරළී එන බාධක ගල් පවුරු මෙන්ම සිතාමතාම කුරිරු සමාජයෙන්ද තල්ලුකොට දමන බාධක ගල් පවුරු විසින් ගමන් මග නිබඳවම හරස් වෙයි. නැඟී සිටින්නට වෙර දරද්දී අත්වාරුවක් සපයනවා වෙනුවට තවත් අඩි දහයක් පහළට ඇද දමන්නට තරම් මිනිස්සුන් අතර හැසිරෙන නොමිනිසුන් නැතුවා නොවේ.
.”ඔය කෙල්ලව ඉස්කෝලේ යවන්නෙ මො කොටද ? ඔහොම ළමයි ඉස්කෝලේ එවනවාට ගුරුවරු කැමති නැහැ. මොකෝ ගියාට උගන්වන දෙයක් ඇහෙන එකක්යැ..”
අම්මා සමග එසේ පවසා ඇත්තේ ගමේ ගැහැනියක විසිනි.අම්මා එවදන් තාත්තා සමඟ පවසද්දි මා එවදන් තෝරා බේරා ගත්තේ ඇගේ තොල් සෙලවෙන අයුරු බලා හිඳිමිනි.
“ඔය ළමයට අකුරු සාත්තරේ නෙමේ දෑතේ කර්මාන්තයක් පුරුදු කරන්න.. එතකොට දෙයක් හම්බ කරගෙන හරි ජීවත් වේවි. ඉස්කෝලේ යවලා විභාග පාස් කළා කියලා මොකෝ ආණ්ඩුවේ රස්සාවල් කරන්නයැ…”
මගේ ඉදිරිපිටදීම මාගේ පාසලේ මිතුරියකගේ මවක විසින් මගේ පියා හට එසේ පවසද්දී මගේ මුළු සිරුරම හිරි වැටී ගියා සේ විය.මා ඒ වන විට මිනිසුන් පවසන සියල්ල ඔවුන්ගේ තොල් සෙලවෙන ආකාරය දෙස බලා තේරුම් ගන්නට පුරුදු වී සිටියෙමි.
“ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගත්ත දෙන්.. මම මගේ කෙල්ලගේ අනාගතය හදලා තමයි මැරුණත් මැරෙන්නේ…කොහොමහරි සඟිතිව ආණ්ඩුවේ රස්සාවකට දානවමයි….”
තාත්තාගේ ඉන්ද්‍රඛීලයක් වැනි වදන් හමුවේ ඒවන් හරස් පාරවල් වැසී ගියේ ය.
“බිහිරි අය රජයේ රැස්සාවලට ගත්තොත් තමයි පුදුමේ .. කොහොම වුණත් ටොයිලට් නම් හෝදන්න ගනියි…”
ඒ සිත් පිත් නැති සරදම් වචන ආදරණීය පියාගේ පපුවට දරන්නට නොහැකි වන්නට ඇත .මගේ අතින් අල්ලා ගත් ඔහු නිහඬවම නිවසට ගියේ ය.
“අපි පව් කරපු මිනිස්සු නෙමේ. ඒත් පෙර කරපු පව් අපි පස්සේ පන්නගෙන එනවනේ. ඉන්නෙත් කෙල්ලොම දෙකක්. බාල් කෙල්ලගේ කන් ඇහෙන්නෙත් නැහැ කියලා මතක් වෙනකොට පපුවට වාවන්නේ නැහැ. ඒකිගේ අනාගතය ගැන මට බය හිතෙනවා…”
වදන් විස කටුවලින් ඇණී පෑරුණු පියාගේ රිදුම්දෙන ළයෙන් එදින ගලා ආවේ දුක්බර මැසිවිල්ලකි.
සොබාදහම විසින් මට තිළිණ කළ අපූරු වූ හැකියාවන් අතර නර්තනයට මා දක්වන ලද දක්ෂතාවය අති මහත් ය.එහෙත් පාසලේ නර්තන කණ්ඩායමට මුල් කාලයේ මා තෝරා නොගත්තේ මාගේ ආබාධිත තත්ත්වය මත නිසා වන්නට ඇත. නර්තනය මෙන්ම ක්‍රීඩාවද අනෙකුත් විෂය පරිබාහිර ක්‍රියාකාරකම්ද මට අහිමි ව ගිය ශෝකය හා සිත් තැවුල දරුණු නාග ප්‍රහාරවල් සේ සිතට වරින් වර දෂ්ට කරමින් මා සිත පාරා රිදවුවේ ය.
“ඔයාට ඒව කරන්න බෑ..”
එම වදන් පෙළ රාත්‍රී අන්ධකාරයේ පහළ වූ අවතාරයක විසින් නඟන විලාපයක් සේ පිළිකුලක් දනවමින් මට සෑම අතකින්ම ඇසෙන්නට විය.
“මට පුලුවන් මට අවස්ථාවක් දෙන්න…”
දුක දිනූ ජීවිත කතාවයි